Thursday, 23 June 2022

 දවස 10 - ඌලුරූ - කට ජූටා

ඊයෙ රෑ ඌලුරූ ලඟ රෑ කෑමෙන් පස්සේ අපිට උදේ වරුව නිදහසේ ගෙවන්න පුළුවන් වුනා. එතකොට තමා ඉස්සර වෙලාම ඒ ලඟ තියෙන කලා නිර්මාණ විකුණන කඩවල් වලට යන්න හැකිවුනේ. අපි සාමාන්යෙන් ගමන් යනකොට අපෙ මුනුබුරු මිනිබිරියන්ට වැඩිය තෑගි බෝග ගන්නෙ නෑ. ඒ අය අපෙන් යමක් බලාපොරොත්තුවීම  හොඳ පුරුද්දක් නොවෙයි කියලා අපි හිතන්නේ. නමුත් අද නම් පොඩි තෑගි ටිකක් ගත්තා පොඩ්ඩන්ට...

අපෙ හෝටලේ ලඟ පාර දිගටත් වියළි කලාප මල් වර්ග හුඟක් තියෙනවා.

දවල් කෑමෙන් පස්සේ අපි ගමන් ඇරඹුවා. ඉස්සර ඔල්ගාස් නමින් හැඳින්වුන කට-ජූටා (Kata Tjuta - formerly known as The Olgas) කඳුවැටිය වෙතයි අපි ගියේ. මේ ලස්සන කඳුවැටිය ඌලුරූ වගේම සමතලා කාන්තාර බිමෙන් පැන නගින්නේ බලාපොරොත්තු නැති විදිහට. කට ජූටා ඈතට පෙනෙන්නේ මේ වගේ (කාන්තාර ස්පිනෆෙක්ස් තෘණත් මල්ගා ගසුත් සුලබයි. 


කට ජූටා යන ගමන් ආපහු ඌලුරූ දිහා බලන වෙලාවේ අපි දැක්කේ ඒ අවටින් නගින දුම් වලල්ලක්. මේ ආදිවාසීන්ගේ ලැව්ගිනි පාලනක්‍රමයට අයිති 'සංකෘතික ගිනි' (Cultural Burning) වලින් එන දුම් බව අපේ රියදුරා කිව්වා. මේ ලැව්ගිනි පාලනයේදී ඔවුන් කරන්නේ ක්‍රමානුකූලව කුඩා බිම් කොටස් වලට ගිනි තැබීමයි. මෙයින් විශාල ලැව්ගිනි වලින් රට ආරක්ෂා වන බව බොහෝ අය පිළිගන්නවා.


අපි කට ජූටා වලට ඇතුවුනේ වල්පා දොරුව (Walpa Gorge) නම් තැනින්. ඒ කඳුවැටි දොරුවේ කාන්තාර බිම වගේ නෙවෙයි කොල පාට ගස් වැල් හොඳින් වැවෙනවා. අවට කොන්ග්ලොමරේට් (conglomerate ) පාෂාණ භූ විද්‍යාවේ නිරත කෙනෙකුට නම් පැය කිහිපයක් අද්‍යයන කරන්න සෑහෙයි.


කට ජූට ඇතුල්වීමත් ඌලුරූ සංකෘතික මධ්‍යස්ථාන ඇතුල්විමට සමානයි.

වල්පා දොරුවට යන පාරේ පොඩි නැග්මක් තිබුනත් ගමන් ටිකක් අමාරුවුනේ නැග්මටත් වැඩිය ගල් උඩ ඇවිදින්න අවශ්‍යවූ නිසයි. 

මේ පාර  පිංතූර වලින් විස්තරකිරීම ලේසියි.


කන්ද ඉහලටත් පහලටත්...


ලොකු බොරලු සහිත කොන්ග්ලොමරෙට් පාෂාණ


වල්පා දොරුව එක් එක් විදිහට...




ආපහු ගමන - මහන්සියි හැබැයි සතුටුයි!


හෙට බටහිර ඔස්ට්‍රේලියාවට්.


Wednesday, 22 June 2022

දවස 09 - යුලාරා

අපෙ 'නැතිවූ ඔටුවා' ( The Lost Camel) නවාතැන යුලාරා ජනාවාසයේ මැද පිහිටි සැප පහසුකම් වලින් අඩුවක් නැති හෝටලයක්. යුලාරා ලොකු නගරයක් නෙවෙයි - ඉස්සර ඌලුරූ පර්වතය අවට තිබූ හෝටල් වැනි ව්‍යාපාරික ගොඩනැගිලි කි මී 25 දුරට ගෙනගියේ පර්වතයේ පාරම්පරික ආදිවාසී සංස්කෘතික සහ පරිසර ආශ්රිත තත්වයට හානි නොවෙන්නයි. අපේ හෝටලයට කිට්ටුවෙන් ඇති කුඩා කඳුගැටයට නැගීමෙන් මුළු යුලාරා 'නගරය' වගේම අලංකාර හිරු බැස්මකුත් දැකගන්න පුළුවන්. නමුත් අපි ඊටත් වඩා 'සම්ප්‍රදායික' ඌලුරූ හිරු බැස්මක් දකින බලාපොරොත්තුවෙන් හිටියේ.


උදේ කෑමෙන් පස්සේ දවසේ පළමු රාජකාරිය වුනේ ඌලුරූ පර්වතය අසල පිහිටි ඌලුරූ සංස්කෘතික මධ්ය‍ස්ථානය ( Uluru Cultural Centre) නැරඹීමයි. ඒ සීතල උදෑසන අපි සංස්කෘතික් මධ්‍යස්ථානය වටේ ඇවිද්දා. එදිනට යෙදී තිබුන දෙවෙනි කාර්‍ය වුනේ පර්වතය පාමුල ඇවිද බැලීමයි. ඒ නිසා අපි සංස්කෝකෘතික මධ්යස්ථානයෙන් කෝපි කෝප්පයකුත් බොන අපේක්ෂාවෙන් ඇවිද්දේ.

අපෙ අවාසනාවට එතන කඩ සාප්පු උදේ 10.00ට ඇරෙන්නේ - අපි වේලාසන වැඩියි! මම ඩ්‍රයිවර්ට ටෙලිෆෝන් කරලා පර්වතේ පාමුල නැරඹීම ඉදිරියට දාගන්න සමත්වුනා.

ඒ ගමන පිංතූර වලින්ම කිවයුතුයි.


සංස්කෘතික මධ්‍යස්ථානයට ඇතුල්වීම.


හිරු එලියෙ පැහැපතුවූ පර්වතයත් අවට වැවෙන වියලි පැලෑටිත්...


වැහි වතුර ගලා ඒමෙන් දිරායන පර්වතයේ සෑදුන දිය පාරත් එතන පොකුණේ පෙන්වන පැහැදිලි පරාවර්තනයත් කැමරා ඇසට කලාතුරකින් ලැබෙන්නේ.


පර්වතයේ ස්වභාවයෙන් සෑදුන ගුහා වල ආදිවාසීන් ජීවත්වූ බවට සාධක තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් ඇඳි බිතු සිතුවම් අදත් දකින්න පුළුවන්.



සිතුවම්දි සහිත දිරා ගිය පර්වතය අසල මේ දිරා ගිය දෙන්නත් සමහරවිට දකින්න පුළුවන්.


අපි නැවතත් සංස්කෘතික මධ්‍යස්ථානයට ගියේ ආදිවාසී කලා භාණ්ඩ දැක ගන්නයි. ඉතාම සිත් ගන්නා කලා කෘති විශාල සංඛ්ව‍යාවක් වගේම කල කෘති නිර්මාණය වන චිත්‍රාගාරත් මෙතන දැකගත හැකියි.

එතනින් කෝපි එකකුත් බීල ආපහු නවාතැනට ආවේ පැය කිහිපයක 'නිදහසක්' ලබමින්. නමුත් හවස හතරට ආයෙත් පිටත් වෙන්න තියෙනවා ඌලුරූ පර්වතය අසල හිරු බැස්ම නැරඹීමට!

අපි ඌලුරූ වලට බස් එකේ එක්ක ගියේ හිරු බසිනා වෙලාවේ එතන බීර/වයින් සහ සොසේජ් රෑ කෑමටත් ලෑස්ති වෙලා. ඌලුරූ හිරු බැස්ම ඇත්තම දකින්න වටිනවා (බීර ඇතුව හෝ නැතුව)


 හැම දෙනාම වගේ මෙතනදී තමංගෙ පිංතූර ගන්නවා ඌලුරූ පසුබිම් කරගෙන.


නැවත නැවත!


ඉරත් ඇත්තම බහිනවා!


ඊට පස්සේ තියෙන බම්බුවක් කාලා ඇවිත් නිදා ගන්නවා.

 දවස 08 - ඇලිස් ස්ප්‍රිංස් - යුලාරා [කි. මී. 450]

ගමන කෙටිවුනත් අපි උදේ 8.00ට පිටත්වුනා (කට්ටියේ හැමෝම වගේ 7.45ට බස් එක් ලඟ - පුදුම උනන්දුවක් උදේම!]. ඊයෙ රෑ කෑමත් ගොල්ෆ් ක්ලබ් එකේ නිසා කෑමෙන් පස්සේ කාමරේට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

දවසේ පළමු නැවතුම ('වැසිකිලි නැවතුමක්')  වලාරා ගොවිපොලේ (Wallara Station) කඩේ, පලාතේ ඉතිහාසයට සම්බන්ධ මෙවලම් ඒ කඩේ අවට තිබුනා. ඔටුවෝ පාවිච්චියෙන් මෙ පලාත රට දියුණු කළ නිසා ඔටුවන් ගැන තොරතුරු (ඔටුවෝ වතුර ප්‍රවාහනය කල අන්දම වගේ) පෙන්වාදී තිබුනා. වෙන එකක් තියේ බොරු කකුල් දාපු ඔටු ප්‍රතිමාවකුත් සාදා තිබුනා.



පරණ කොමෝඩ් පාවිච්චි කරලා වාඩිවෙන තැන් සදා තිබුනා. [මේක විහිළුවට පටන් ගන්න ඇති]


දවල් කෑමට 'අර්ල්ඩන්ඩා''නැමති 'මගී ගිමන්හලක' (Erldunda Roadhouse) නැවැත්තුවා. මෙය පිහිටා තියෙන්නේ ස්ටුවර්ට් සහ ලැසෙටර් මහ මාර්ග (Stuart and Lasetter Highways)  හමුවෙන තැන. මේක වැදගත් සංදියක්. කාර් සහ කැරවෑන් වලින් එන සංචාරකයෝ මෙතන ඉන්ධන සහ කෑමට නවතිනවා. කිට්ටුව වෙන තැනක් නෑ.


පාරේ දුම්රිය (road trains) එහෙමත් මෙතන නවත්වනවා. ඊලඟ පින්තූරේ පෙන්වන වාහනේ ට්‍රේලර තුනක් අදිනවා (ඒ කියන්නේ මේ වාහනේ ඇක්සල් 16, එකකට ටයර් හතර බැගින් ටයර් 64යි!). මේ වගේ වාහන පාවිච්චි වැඩි බර ප්‍රවාහනයට - ඉන්ධන, හරක්/බැටළුවෝ, ලෝපස් වැනි දේ)


එතන පටන් යුලාරා දක්වා පාර අවට වියලියි, දූවිලි සහිතයි, ගහකොල අඩුයි.




බස් එකේ මගියෝ සේරම වගේ අවට බලන්න දෙයක් නැතුව නිදි කිරනවා. මගියෝ අවිස්සුනේ අපේ රියදුරා අපිට ඈත කන්දක් පෙන්වන විට - පෙරුම්පුරාගෙන බලන්න ආ 'ඌලුරූ!


හැබැයි ඒ ඌලුරූ නෙවෙයි! පෞද්ගලික ඉඩමක තියෙන මේ විශාල කන්ද හැඩයෙන් ටිකක් ඌලුරූ වගේ (මීට ඉස්සර මෙහෙ ඇවිත් නැති සංචාරකයෝ රවටන තරමට). ඒකට කියන්නෙත් ෆූලරූ ('Foolaroo') - මිනිසුන්ගෙ මෝඩකම පෙන්වාදෙන්න (හරි නෑ නේද?)

හෝටලයට යන පාරේ ඇත්ත ඌලුරූ කිට්ටුවෙන් ගියාට ඒක 'අතගාල බලන්න' ලැබෙන්නේ හෙට. එතකන් පොඩ්ඩක් විවේකෙන් ඉන්නවා.

Monday, 20 June 2022

 දවස 07 - ඇලිස් ස්ප්‍රිංස් 

ඇලිස් ස්ප්‍රිංස් වල අපෙ දෙවෙනි දවස අවසන්වුනේ මාර කුරුළු දක්ෂතා පෙන්වීමකින්.

ඊයේ මගෙ උපන්දින රෑ කෑමට තායිලංත ආපනශාලාවේ ඉඩ නොතිබුනත් (රෑ 9.00 තමා ඉඩ තියෙනවා කිව්වේ) එතනට ටිකක් එහා තිබුන පබ් එකේ හොඳ කෑම බීම ලැබුනා. ආපහු පයින් ආවේ තායි ආපනශාලාව පහුකරගෙන 8.30ටත් ඉස්සර!

අපි උදේ ටොඩ් ගඟ දිගේ ඇලිස් ස්ප්‍රිංස් නගරයට ගියා. මේ මාර ලස්සන ගඟේ වතුර නෑ - වැලි විතරයි! ඉඳලා හිටලා වැටෙන මහ වැසි වලට පස්සේ විතරයි මේ ගඟේ වතුර ගලන්නේ. Red River Gums නැමති ලස්සන විශාල ගස් පිරිලා.



ගඟේ තියෙන්නේ වැලි විතරක් වුනත් සාමාන්‍ය පාලම් එහෙමත් තියෙනවා.


මෙහෙ මිනිස්සු මේ පලාතට හරිම කැමතියි - ආධිවාසියෝ මේ ගඟේ අවුරුද්දේ හැමදාම ජීවත් වෙනවා, පොඩි තාවකාලික 'ගෙවල්' හදාගෙන. මෙ 'ගෙවල්' අතු හරි ප්ලාස්ටික් ශීට් වලින් අටවපු පැලවල්. 

මේ ගඟේ 'බෝට්ටු රේස් එහෙමත් තියෙනවා. වතුර නැති නිසා මේ  'බෝට්ටු' වල පතුලක් නෑ - මිනිස්සු මැදින් හිටගෙන 'බෝට්ටුව' උස්සාගෙන වැල්ලේ දුවනවා!

දවල් දෙකට විතර 'කාන්තාර උයනකට' (Alice Springs Desert Park). කාන්තාර ගස්වැල්, සත්තු සර්පයෝ එහෙම ඉතා ප්‍රවේසමෙන් රැකබලා ගන්නවා. කාන්තාර ගස්වැල් අතර ඊමියු, කැන්ගරූ වැනි සත්තු උන්ගේ ස්වභාවික වාසස්ථානයේ ජීවත්වෙන්නේ. කුරුළෝ, සර්පයෝ, මීයෝ වගේ සත්තු ගණනාවක් මෙහෙ ඉන්නවා.


කැලේ නිදැල්ලේ ඉන්න ඊමියු නියමයි!


කුරුල්ලෝ 'ශිල්ප දක්වනවා' දැක්කේ දවසේ උසස්ම දර්නශය ලෙස. මෙහිදී සංදර්ශනය මෙහෙයවන්නාගේ අනින් කැලේ කුරුල්ලෝ එක එකා කරලියට ආවා. ආ කුරුල්ලන් අතරට අයිති වුන මැග්පයි වගේ නෙවෙයි  කර්ලියු (curlew) කුරුල්ලා මෙහෙයවන්නා දෙන කෑම ඇහිඳිමින් එයා පිටිපසින් ඇවිද්දේ. 


සුදු යටිබඩ ඇති බකමූණා හීලෑ කුරුල්ලෙක් වගේ හැසිරුනේ.


නමුත් අන්තිම දර්ශනය වුනේ බසර්ඩ් (buzzard) ඊමියු බිත්තරයක් ගලකින් ගසා කඩා ගන්නා හැටියි -සත්තු ආයුධ පාවිච්චි කරන හැටි! (මේ විඩියෝ එක මාග් ගත්ත එකක්)


හැම අතින්ම හොඳ දවසක්.

 දවස 06 - ඇලිස් ස්ප්‍රිංස්

රෑ තුනක් නවතින ඇලිස් ස්ප්‍රිංස් වල ගෙවන පළමු දවස. අපි නවතින්නේ Desert Palms Resort හෝටලේ. ඊයෙ හෝටලේට ආවේ ටිකක් වෙලා කාමරේ ඉඳන් මහන්සි අරින්න හිතාගෙන. නමුත් වැඩි වෙලාවක් ගියෙ නෑ හෝටලේ පිටිපස්සේ ගේට්ටුවෙන් ගොල්ෆ් ක්ලබ් එකට රෑ කෑමට ගියා. කෑමත් බීමත් දෙකම හොඳයි - ඊලඟට හොඳ නින්දක් තමා ඕන.


ඪෙසට් පාම්ස් වල අපේ කාමරේ.

හෝටලේ පිටිපස්සේ ගොල්ෆ් පිටිය - බාගෙට කාන්තාර ගතියක් තියෙනවා.


යූකැලිප්ටස් මල්. මගෙ ශබ්දකෝෂය මේ ගස් වලට 'කපුරු ගස්' කිව්වට ඒක හරි කියලා මට හිතෙන්නේ නෑ.

එදා දවස පටන් ගත්තේ ටිකක් වෙලා ගිහින්. නගරය මැද තියෙන ඇන්සැක් හිල් මුදුනට අපි බස් එකේ ගෙනගියා (ANZAC Hill - ANZAC කියන්නේ ඔස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ආමි වල යුධ වැදුනන්ගේ එකතුවක් - රටේ හැම තැනම ඔවුන් සමරන ස්මාරක තියෙනවා). 

කඳු මුදුනට නගරයත් අවට කඳුත් හොඳින් පෙනෙනවා. 


මැක්ඩොනල් රේන්ජස් (MacDonnell Ranges) කියන කඳුවැටියේ හෙවිට්‍රී ගැප් (Heavitree Gap) නැමති හොඳින් පෙනෙන කපොල්ලෙනුයි 'ගාන්' නම් ඇඩිලේඩ් සිට ඩාවින් දක්වා යන දුම්රිය ගමන් කරන්නේ. 

ඇන්සැක් කන්දෙන් පස්සේ අපි ටවුමෙන් දවල්ට කාලා පයින් හෝටලේට ආවා. ඒ අඩි පාර එන්නේ (ඔස්ට්‍රේලියාවේ) ප්‍රසිද්ධ ටොඩ් ගඟ (Todd River) අද්දරිනුයි (මේ ගඟ ගැන හෙට පිංතූර එක්ක ලියන්නම්)

අදට එපමණයි - කලබල නැති හවස් වරුවක් හෝටලේ. අද රැ මාග් මට රෑ කෑම අරගෙන දෙනවා - මගේ 74 උපන් දිනේ අද - මට ජයවේවා!

Saturday, 18 June 2022

 දවස 05 - බූලියා - ඇලිස් ස්ප්‍රිංස් [කි මී 860]

බස් ගමන එපාවෙන ඉතාම දිග, ඉතාම ලාන්තරස් දවසක්!

පිටත්වුනේ 6.30ට - තවම එලිය වැටිලා නෑ. යාන්තමට නැගෙනහිර අහස පාට වෙනවා දැක්කේ මගදී. ඒ 6.46ට

 මාග් තව බස් එකේ ආපු කෙනෙක් එක්ක .

මේ උදේ 7.23ට හිරු පායා දිලි දිලි මෝරා... එහෙම සිංදුවක් තිබුනා වගේ මට මතකයි (හැබැයි ඒක මෝරෙක් ගැන නෙවෙයි).

මෙ හරියේ පාර හුඟක් වෙලාවට කෙලින්. ක්වීන්ස්ලන්තයත් උතුරු රාෂ්ට්‍රයත් (Northern Territory) අතර මායිමට කිට්ටුව දැකපු දෙයක් තමා මහ පාර ගුවන් තොටුපොලකට හැරවීම. මේකේ පින්තූර ගන්න බැරිවුනත් ඒ ගැන කියන්න වටිනවා. ඒ දිග කෙලින් පාර කොටසේ ගුවන්යානා ධාවනපථයකට අවශ්‍ය විදිහට සලකුනු ඇඳ තිබුනා වගේම එය පටන්ගන්න තැන 'හදිසි අවස්ථා ගුවන්යානා ධාවනපථය - නැවතීම තහනම්' පුවරුවක් සවිකර තිබුනා.

[මේ පාරේ වැඩි කොටසක තාර දමා නෑ - dirt track නමින් හැඳින්වෙන රතු පස් පාරක් තමා තියෙන්නේ. දූවිල්ල හොඳටම දැනෙන්නේ තව වහනයක් කිට්ටුව දුවන වෙලාවේ (හැබැයි පාරේ වාහන බොහොම අඩුයි). නමුත් දූවිල්ල හොඳයි මඩට වැඩිය - වැස්ස කාලෙට මඩ නිසා මෙ පාරවල් පාවිච්චි කරන්නම බැරි තත්වයට පත්වෙනවා. රටට ඉතා වැදගත් ගංගා පද්ධති දෙකක මුල් කොට හරහා අපි  ගියා - ඩයමන්ටීනා සහ ජෝජීනා මේ 'ඇල මාර්ග පලාතේ' (Channel Country) ජලය දකුණු ඔස්ට්‍රේලියාවේ එයර් වැව (Lake Eyre in South Australia) වෙත ගලායන්න සලසනවා]

'පාරෙ ගුවන් තොටුපොල' පසුවී ටික වෙලාවකින් අපි ක්වීන්ස්ලන්ත/උතුරු රාෂ්ට්‍ර මායිම එතර කළා.


මේ පෙනෙන්න තිබෙන ලෙසම ගහකොළ ඉතාම සීමා සහිතයි - වැඩියම තියෙන්නේ මල්ගා නැමති කුඩා ගසුත් ස්පිනෆෙක්ස් නැමති 'තණකොළ' පමණයි. ස්පිනෆෙක්ස් 'කොල' ඉදිකටු වගේ තියුනුයි - ජීන්ස් හිල් කරගෙන කකුලේ ඇනෙන තරමට තියුනුයි!




අපි ඒ ස්පිනෆෙක්ස් පිරි තැනක දවල් කෑමටත් නැවතුනා.

කලාතුරකින් මේ තෘණභූමි වල හරක් හිටියට ඊට වඩා හිටියේ ඇති නොකරන සත්තු. කුරුල්ලෝ (බජ්රිගා  -budgerigar, ගලා - galah, වැනි ගිරා පවුලේ උනුත්, බ්‍රොල්ගා - brolga වැනි පොලවේ ජීවත් වන්නොත්, උකුසු වර්ගයේ wedge-tailed eagle), පොඩි කැන්ගරුවෝ (වොලබි - wallaby). බස් එකේ වේගෙන් යන අපිට මුන්ගෙ පිංතූර ගන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. කි. මී. 860 ගමනක හැම සතාම බලන්න නැවතුනානම් අපි තවමත් පාරේ! ලොකු තුඹසක් බලන්න නම් නැවතුනා.


ඇඩිලේඩ් සිට ඩාවින් දක්වා දුවන ස්ටුවට් මහමග (Stuart Highway) වෙත අපි සේන්දුවුනේ 'මැටි' පාරෙන් සමුගනිමින්. අපි ආපු 'මැටි' පාර 'ප්ලෙන්ටි මහමග' ලෙස සලකුනු කරමින් ස්ටුවට් මහමගේ පුවරුවක් අටවා තිබෙනවා. රෝඩ් ට්‍රේන් (Road Train) ලෙස හැඳින්වෙන දිග ලොරියක පිංතූරයක් ගත්තත් කොටසක් විතරයි ගන්න පුළුවන්වුනේ ( ස්ටුවට් මහමග වේගසීමාව පැයට කි. මී. 130යි)




දැන් ඇලිස් ස්ප්‍රිංස් වලට හොඳටම කිට්ටුයි. තව එක් තැනකයි නැවැත්වූයේ - 'ගමේ'  කලාකරුවෙකුගේ මකර නිවර්තනය සලකුනු කරන නිර්මාණ බලන්න.


එතනින් කෙලින්ම අපෙ හෝටලේට - මීලඟ රෑ තුනක් ගෙවන්න. දූවිලි දහඩිය හොඳින් සෝදා දමා බීර වීදුරුවක් දකින්න ආශාවෙන් අපි ඉන්නේ.