දවස 14 - කැල්ගූලි - පර්ත් [කි. මී. 650] - අන්තිම දවස!
මාග් එක්ක මම කැල්ගූලි නගරය නරඹන්න ඊයේ හවස ගියා. නගරය ලොකුයි, පරණ ගොඩනැගිලි අතරේ ලස්සන පබ් කීපයක්ම තියෙනවා (පතල් සහ පබ් එකට යන ජෝඩුවක්)
... අපේ නවාතැන - දුම්රියපොල හෝටලය [The Railway Hotel]
එදා අපෙ ගමනේ අවසාන රාත්‍රියේ කෑම හොඳයි නමුත් කන්ඩායම ටිකක් නිහඬයි. කෙනෙක් වයින් බෝතලයකින් අන් අයටත් බෙදා දුන්නත්, තව කෙනෙක් ස්තුති කතාවක් පැවැත්වුවත් වැඩිය සද්දයක් නෑ- සමහරු ටිකක් මහන්න්සියෙන් වගේ.
උදේ කෑමෙන් පසු අපි කලින්ම (සීතලේ) පිටත්වුනා. පළමු නැවතුමවූ කුල්ගාඩි නගරයට ලඟාවෙනකොට තවම සීතලේ අඩුවක් නෑ. පරණ රත්රන් පතල් නගරයක්වූ කුල්ගාඩි වල හරිම ලස්සන පරණ ගොඩනැගිලි ගොඩක් තියෙනවා. අපි බස් එකෙන් බැහැලා ගිහින් වෙවුල වෙවුල පිංතූර ගත්තා.
අපෙ අන්තිම දවස වැඩි හරියක් බස් එකේ. නැවැත්තුවේ කීප සැරයයි නමුත් ජනෙලෙන් වෙනස්වෙන රට තොට දැක්කා. දැන් පාර බටහිර ඔස්ට්‍රේලියාවේ 'තිරිඟු තීරය' (Wheat Belt) හරහා දිවුනේ. තිරිඟු සහ බැටළුවන්ට ප්‍රසිද්ධ මේ පලාත්වලින් බටහිර ඔස්ට්‍රේලියාවේ තිරිඟු වලින් ලොකු ප්‍රතිශතයක් නිපදවෙනවා.
මෙරිඩින් නැමති නගරයෙන් හරස් පාරකට හැරී අපි කෙටි දුරක් ගියේ චිත්‍ර වලින් අලංකාර කරනලද ධාන්‍ය ගබඩා දැක ගන්නයි.
තිරිඟු තීරය හරහා දිගටම ගිය අපි දවල් කෑමට කන්ඩඩින් (Cunderdin) නැමති කුඩා 'නගරයේ' නැවැත්තුවා. ඒ නගරේ තියෙන එටමෝගා (Ettamogah) නැමති පබ් එක අමුතු හැඩයක්. නමුත් අපි දෙන්නා ඒකේ පිංතූර ගත්තෙ නැත්තේ ඒ නමින් ඇති මුල්ම පබ් එක බ්‍රිස්බන් වලට ටිකක් උතුරෙන් ඇතැයි කියමින් ('මේක කොපියක් විතරයි'). නමුත් අන්තර්ජාලයේ එනමින් අඩුම ගණනේ පබ් දෙකක් පෙන්වනවා නිව් සවුත් වේල්ස් වල (අප සමග ගමනේ ඉන්න කෙනෙකුත් මේක අපිට කිව්වා)
මින් පස්සේ ආයෙ පබ් නෑ, වික්‍රම නෑ, නැවතීම් නෑ - කෙලින්ම පර්ත්.
ගමන අවසානේ (යම්කිසි) කනගාටුවක් දැනුනත් අපි සමුගත්තේ ප්‍රීතිමත් මගියෝ කට්ටියකින්. අපේ ගමන් සගයෝ එකොලහ හොඳ අය - ඕන උදව්වක් දෙන්න ලෑස්තියෙන් ඉන්න පළපුරුදු ගමන් යන්නෝ. අපි ඔවුන්ට සුභ පතනවා. ඒ වගේම අපි ප්‍රවේසමෙන් පර්ත් නගරයට ප්‍රවාහනය කළ ජෙසා සහ බාබ්ට විශේෂ ස්තුතියක්.
මුළු ගමනෙන්ම වඩාම සුභදායක දර්ශනයක් අපි දුටුවේ ඒ වෙලාවේ නැගෙනහිර පර්ත් දුම්රියපොලේ - චාමරයි නිරෝෂිනියි අපිව ගෙදර එක්ක යන්න ඇවිත්!
No comments:
Post a Comment