Thursday, 16 June 2022

 දවස 03 - වින්ටන්

අපි වින්ටන් වල රෑ දෙකයි; නවතින්නේ 'බෝල්ඩර් මොටේල්' (Boulder Motel); ඊයේ රෑ කෑමත් එතනමයි,  අපේ ගමනේ යන අනික් සගයොත් එක්ක.

ගමන් සගයෝ ගැන වචනයක්: අපෙ කන්ඩායමේ නියමුවෝ අඹු සැමි යුවලක්, ජැසෝ සහ බාබරා. සංචාරකයෝ 12යි, අපේ වයසේම - සමහරු අපිට වඩා නාකියි! පිරිමි තුන් දෙනයි. තවම කිසි කරදරයක් නෑ අපි අතරේ. තවම.

අද උදේ අහස හරිම ලස්සනයි - හිරු එලිය වලකුල් වලට යටින් අලෝක වීමෙන්. 

වින්ටන්වල තියෙන ලොකුම ආකර්ෂණය (මට වගේම තවත් හුඟාක් අයටත්) නගරයෙන් වැඩිය ඈතක් නැති  කෞතුකාගාරයක් - ඩයිනසෝර් කෞතුකාගාරයක්.  

 https://en.wikipedia.org/wiki/Australian_Age_of_Dinosaurs 

මේ කෞතුකාගාරය පටන්ගත්තේ 1999 ඩේවිඩ් එලියට් නැමති ගොවියෙකුට ගොවිබිමේ තිබී හම්බවුන ඩයිනසෝර් ඇටකටුවකින්. මිනිහා ඒ වෙලාවේ බැටළුවෝ එලවමින් හිටියේ - ඩයිනසෝර් හොයමින් නෙවෙයි. එතනින් පටන්ගෙන බොහෝ අයගෙ (විද්‍යාඥයෝ, ගමේ අය, ස්වේච්ඡාවෙන් උදව් කරන්නෝ, අනික් ගොවියෝ, ආන්ඩු...) කැපවීමෙන් මෙතන ලෝකයේ හොඳම ඩයිනසෝර් කෞතුකාගාරයක් බවට පත්වෙලා තියෙනවා. වෙන එකක් තියා ඒ අයට පුළුවන්වුනා ඈත තිබුන මඩ වගුරක් සම්පූර්ණයෙන්ම මෙතෙනට ගෙනෙන්න. සොයාගත්ත තැන ගංවතුරෙන් විනාශ වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී වගුරට කිසිම හානියක් නොවෙන්න කොටස් ප්‍රවේසමෙන් වෙන්කර නොම්බර දාලා පරණ තිබුන විදිහටම නැවත මෙතන එක්රැස්කළේ 'වියලි වගුරක්' ලෙසයි. මිනිසාගේ හැකියාවත් දක්ෂතාවයත් විදහා පෙන්වන මේ කටුගෙය චමත්කාරීයි.

ලෑස්තිකරණ විද්‍යාගාරයේ එතන වැඩ කෙරෙන හැටි මෙන්ම වැදගත් පොසිල කීපයකුත් දැකගත හැකියි. මගෙ සිත ඇදීගියේ 'චුකී' ලෙස හැදින්වුන කිඹුල් වර්ගයේ පොසිලයකටයි. චුකී මිය යන විට උගේ උදරයේ තිබුන දේත් පොසිල බවට පත්වෙලා තිබුනා!



කෞතුකාගාර ඇතුල්වීමත් ගොඩනැගිල්ල වගේම හොඳින් සැලසුම් කර තිබෙනවා. ඩයිනසෝර් සත්තු මඩේ තැබූ පිය සටහන් පැහැදිලිව පෙනෙනවා. ඊටත් වැඩිය ඒ සටහන් වලින් කියවෙන 'කතාව' පුදුම විදිහට විස්තර සහිතයි.  උදාහරණයක්: සටහන් කීපයකින් පෙන්නුම් කළේ කුඩා ඩයිනසෝරයෙක් විශාල ඩයිනසෝරයෙක් ඉදිරියෙන් දුවන වෙලාවේ (කුඩා අඩි ලොකු අඩි  ඉදිරියෙන් හරහට) ලොකු එකා හදිසියේ නැවතුන නිසා මඩේ අඳුන ලිස්සායෑම තවම හොඳින් පෙනෙන්න තියෙනවා!


කටුගේ සවාරියෙන් පස්සේ හෝටලේට එන ගමන් අපි පරණ යකඩ බඩු කෑලි වලින් හැදුන 'සංගීත මඩුවක්' බලන්න නැවතුනා.



දවල් කෑමෙන් පස්සේ අපි දෙන්නා නගරේ ඇවිදින්න ගියා. වින්ටන් 'මහ වීදියේ' තියෙන ග්‍රෙගරි හෝටලේ බීර වීදුරුවක් බොන්න ගියේ ඒක වින්ටන් වල ප්‍රසිද්ධම හෝටලේ නිසා (පිපාසෙට එහෙම නෙවෙයි!). මේ හෝටලේලු බැන්ජෝ පැටසන් 'වෝල්සිං මැටිල්ඩා' නැමති ඉතා ජනප්‍රිය සිංදුව ලිව්වේ. මේ හෝටලේ ලස්සන දොර ජනෙල් වීදුරු වල කැපූ (etched) පින්තූර වලට ප්‍රසිද්ධයි.






 


No comments:

Post a Comment