Sunday, 26 June 2022

දවස 13 - ලේවර්ටන් - කැල්ගූලි [කි. මී. 350]

අපි රැ ගෙවපු 'ඩොඟා' නවාතැන ඊයේ එකට වඩා හොඳයි - පබ් එක නියමයි!

ඊයෙ රෑ අමතක වෙන්නෙ නෑ (විශේෂයෙන්ම වෝබටන් වලට පස්සේ). පබ් එකේ බීම වීදුරු කීපයක්, හොඳ රෑ කෑමක් වගේම මාර රග්බි ලීග් තරඟයක්. වැඩිය සෙනග නොහිටියට ක්වීන්ස්ලන්ත පැත්තට සහය දක්වන අපෙ බස් එකේ ආපු කන්ඩායමයි, නිව් සවුත් වේල්ස් වලට සහය දක්වන කට්ටියකුයි ඇරුනුකොට හිටියෙ තව දෙතුන් දෙනෙක් විතරයි. සෙනඟ අඩු වුනත් සද්දෙන් නම් අඩුවක් තිබුනෙ නෑ.



රග්බි තරඟෙන් අපි අන්ත පරාජයකට පත්වුනා!


උදේ බස් එක ලඟ තේ බොන වෙලාවේ තවම හරි සීතලයි. නමුත් ඉර නැගගෙන එනවා ලස්සනයි - එතන කොළ නැති ගහක් අවුවට රෝස පාටෙන් බැබලෙනවා වගේ. 



උදේම (උදේ කෑමටත් ඉස්සර) අපි ලේවටන් නගරේ ටිකක් එහාට මෙහාට ඇවිද්දා - ලස්සන සන්සුන් ටවුම (පුදුමයක් නෙවෙයි - කවුරුත් තව නැගිටලා නෑ). දොස්තර චාල්ස් ලේවර් කියන මිනිහගෙ ප්‍රතිමාවකුත් දැක්කා (නගරේ නම ආවේ ඒ දොස්තරගෙ නමෙන්)

ලේවටන් වල ඉඳන් අපි කැල්ගූලි යන ගමන් ඉස්සරවෙලාම නැවතුනෙ ලියනෝරා වල (Leonora). ලියනෝරා වලට ටිකක් දකුණෙන් තමා 'ග්වාලියා පුතුන්' (Sons of Gwalia) රන් ආකරය තියෙන්නේ. ආකරයටත් වඩා අපෙ හිත ඇදිලා ගියේ 'ග්වාලියා පුරාණ නගරයටයි' (Gwalia Ghost Town). රන් ආකරයේ පතල් කරුවන් ජීවත්වූ පරණ නගරය හොඳින් සංරක්ෂණය කරලා පවත්වාගෙන යනවා දැනටත්. ඓතිහාසිකව වැදගත් රන් ආකරයක් නිසා පුරාණ නගරයට ටිකක් ඉහලින් හොඳ කෞතුකාගාරකුත් තියෙනවා.

අපි පුරාණ නගරයේ බස් එක නවත්තලා එතෙන්දිම කෝපි එකක් බීලයි ඇවිදින්න පටන් ගත්තේ. නගරය විස්තර කරනවා වෙනුවට මම පිංතූර කීපයක් පෙන්වන්නම්.


පුරාණ නගර සැලැස්ම - පාරවල් සහ ගොඩනැගිලි


'පෙට්‍රෝනිස්' නැමති පතල් සේවකයෝ නැවතුන නිවහන (Petronis Guest Home) - තනිකඩයන්ගෙ කාමර පැත්තකින් පෙනෙන්න තියෙනවා.



ගරාජයක ඉතිරි වී ඇති කොටස; පතල් කරු නිවසක් (වාහනත් සමග)


'ස්ටේට් හවුස්' නැමති පබ් එක  (State Hotel)

පුරාණ නගරෙන් අපි කෞතුකාගාරයත් පතල් ගොඩනැගිලිත් බලන්න ගියා. 19 වෙනි සියවසේ පටන්ගත් මේ පතලේ ඉතිහාසය හොඳින් ලියවී තියෙනවා. කාලෙන් කාලෙට වෙනස්වූ තාක්ෂණ පෙනෙන්න තියෙනවා.


එක් කාලයක් පතල් කළමනාකරු (පසුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති) හර්බට් හූවර්ගේ ගෙදරත් හොඳින් සංරක්ෂණය කර තියෙන බව පෙනෙනවා.


පතලත් එතනින්ම දැකගන්න පුළුවන්.


දවල් කෑමෙන් පසු අපි කැල්ගූලි බලා පිටත්වුනා. 

මගදී 'ටූ අප්' නැමති සෙල්ලම කරන තැනකත් ටිකකට නැවතුනා. [ටූ අප් - two-up] ඔස්ට්රේලියාවේ පාරම්පරික සූදුවක් - විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්දේ යුධ හමුදා වල. ලීයක් උඩ තැබූ කාසි දෙක උඩ විසිකරලා බිමට වැටෙන කාසි ඔලු දෙකක්/ වලිග දෙකක් (two heads / two tails) පෙනෙයි කියලා මිනිස්සු ඔට්ටු අල්ලනවා. මාර මෝඩ ක්‍රීඩාවක්! මං හිතන්නේ දැන් මේ  ක්‍රීඩාව නීතියෙන් තහනම් (වැදගත්ම හමුදා නිවාඩු දවස - ANZAC Day - හැර)


කැල්ගූලි - බෝල්ඩර් නගර ජෝඩුවේ (Kalgoorlie - Boulder twin towns) අපි පළමුවෙන්ම බලන්න ගියේ මේ පලාතට වතුර ගෙනා විශාල ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය (Goldfields Water Supply Scheme) නිසාමයි මේ පලාත්වල විශාල රත්‍රන් ආකර මෙන්ම ගොවිතැනුත් කරගන්න හැකිවුනේ. 1903 පටන්ගත් මේ ව්‍යාපෘතියෙන්  කි.මී 556ක් දිග ජල නළ වලින් පර්ත් සිට කැල්ගූලි වලට දැනටත් වතුර පොම්ප කරනවා. දූර දක්නා නුවණැත්තෙකුගෙ අදහසක්!



ජල සම්පාදනයට පස්සේ අපි ගියෙ කැල්ගූලිවල ලොකුම ආකර්ණෂය වෙතයි - 'සුපිරි පතල' (Super Pit). මේ පතල කි. මී. 3.7ක් දිගයි, කි. මී. 1.5 පළලයි, මී. 480ක් ගැඹුරුයි (ඌලුරූ වළලන්න ඇති). ඇත්තටම විස්වජනකයි.




පිංතූරේ පතුලට කිට්ටුව දකුණට බැලුවොත් හාරන මැසින් ඉතා කුඩාවට පේනවා - මේ පතල ඒ තරම් විශාලයි.

මේවා බලාගෙන අපි අපේ කැල්ගූලි නවාතැනට ආවා - මෙ ගමනේ අන්තිම රැය ගෙවන්න.
තවම ඉර බැහැලා නැති නිසා කැල්ගූලි නගරේ ටිකක් ඇවිදින්න අපි දෙන්නා තීරණය කරගත්තා. 

ඊට පස්සේ ... බීර වීදුරුවක්... රෑ කෑම... නින්ද!

No comments:

Post a Comment