Saturday, 25 June 2022

 

දවස 12 - වෝබටන් - ලේවටන් [කි. මී. 560]

ඊයෙ රෑ නවාතැන වෙනදා තරම් 'සුඛෝපභෝගී නෑ. අපෙ නිවාසේ හරියට පතලක වැඩකරන අයගෙ වාඩියක තියෙන කුඩා එකට ඈඳූ ගෙවල් වලින් එකක්. මෙහෙ ඒවට සාමාන්යෙන් කියන්නේ 'ඩොඟා' (donga) කියලා. නමුත් ඒකේ ඇඳේ වත් උනු වතුරේවත් කිසි අඩුපාඩුවක් තිබුනෙ නෑ.

අපේ 'වාඩිය' වටා වැටක් ගසා තිබුනා - එයින් එලියට යෑමට අපිට අවසර තිබුනෙ නෑ. ඒ නිසා අපේ රෑ කෑම පිලියෙල වුනෙ බස් එක ලඟ, ජෙසා සහ බාබ් අතින්. ගින්නෙන් පිසගත් කුකුල්මස් 'කෙබාබ්' වල වැරැද්දක් කියන්න බෑ. මෙ කෑම ලෑස්තියේ හැකියාව මේ වගේ ගමනකට ඉතා වැදගත්.


අපේ නිවහනේ නිදන්න නීති කිහිපයක්ම තිබුනා. මත් පැන් / දුම් නොබීම, කූඹින් ගෙන් පරෙස්සම් වීම, කුණු කසල සහ කෑම විසිකිරීම ගැන සැලකිලිමත්වීම, සර්පයන්... එ වගෙ දේ. අවට පොලව සරු පාටක් තිබුනට වර්ෂාව නැති නිසා ගස් වැල් වැවෙන්නේ අමාරුවෙන්. අපේ වාඩියේ පස මේ වගේ.


මේ 'අමුතු ලස්සනක්' ඇති පලාත අයිති ජිකයිරියා (Tjkayiria) ආදිවාසී ජන කොටසටයි. ඔවුන් ජීවත් වෙන්නේ  මේ අවටයි. අපේ දවසේ පළමු නැවතුමවූ ජිකයිරියා නැවතුම්පොලයි (Tjkayiria Roadhouse), අහසින් එන වෙද සේවයයි (Royal Flying Doctor Service) දෙකම ජිකයිරිය ජනයාට සේවය කරනවා. හදිසි අවස්ථා වල පාවිච්චියට ගුවන් ධාවනපථයකුත් (emergency landing strip) මෙහෙ තියෙනවා.



කෝපි කෝප්පෙකින් පස්සේ අපි නැවතත් ගමනේ යෙදුනා. තාර නැති මේ පාරේ අවට දිගටම පෙනුනෙ කාන්තාර ගතියක්. තැනින් තැන ගස්  පඳුරු පෙනෙන්න තිබුනා නමුත් පොලව ඉතාම වියලියි.



'මැලී' නැමති ගස් වර්ගය බොහෝ තැන්වල දකින්න ලැබුනා. එක මුල් එකතුවකින් කඳන් කීපයක් පැලවීම මේ ගස් වල ලක්ෂණයක්. මේ ගැන අපිට කියා දුන්නේ අපිත් එක්ක ගමන් කරන්නෙක් (මේ පලාත් සහ ගොවිතැන් ගැන හොඳින් දන්න විශ්‍රාමික ගොවියෙක්)


පාරෙන් පිටතට ගිහින් දවල් කෑමට අපි නැවැත්තුවේ මේ මැලී ගස් ගොල්ලක.


අපෙ බස් එකේ දවල් කෑමක් ලෑස්තියට අවශ්‍ය සියල්ල තියෙනවා - සලාමි, හැම්, පාන් වගේ දේ වගේම උණු උණු තේ/කෝපිත් පිලියෙල කිරීමට ජෙසා සහ බාබ් දක්ෂයි. අපිත් උදවු වෙනවා කෑම ලෑස්තියටත් අවසාන පිරිසිදු කිරීම් වලටත්. (එක කඩදාසි කැබැල්ලක්වත් බිම් දමා යන්නෙ නෑ) 

දවල් කෑමෙන් පස්සේ අපි ලේවටන් බලා පිටත්වුනා.

ලේවටන් වල නවාතැන ලඟම පබ් එකක් තියෙනවා. ඒ ඇරුනහම අද රෑ ඔස්ට්‍රේලියාවේ ලොකුම රග්බි ලීග් තරඟය, ක්වීන්ස්ලන්තයත් නිව් සෞත් වේල්සුත් අතර. අපිට පබ් එකේ ඉඳන් ඒක බලන්නත් පුළුවන්! අපෙ ක්වීන්ස්ලන්ත කන්ඩායමට ජයවේවා!

No comments:

Post a Comment