Tuesday, 28 June 2022

 දවස 14 - කැල්ගූලි - පර්ත් [කි. මී. 650] - අන්තිම දවස!

මාග් එක්ක මම කැල්ගූලි නගරය නරඹන්න ඊයේ හවස ගියා. නගරය ලොකුයි, පරණ ගොඩනැගිලි අතරේ ලස්සන පබ් කීපයක්ම තියෙනවා (පතල් සහ පබ් එකට යන ජෝඩුවක්)




කැල්ගූලි දුම්රිය නැවතුම් පොල...


... අපේ නවාතැන - දුම්රියපොල හෝටලය [The Railway Hotel]


එදා අපෙ ගමනේ අවසාන රාත්‍රියේ කෑම හොඳයි නමුත් කන්ඩායම ටිකක් නිහඬයි. කෙනෙක් වයින් බෝතලයකින් අන් අයටත් බෙදා දුන්නත්, තව කෙනෙක් ස්තුති කතාවක් පැවැත්වුවත් වැඩිය සද්දයක් නෑ- සමහරු ටිකක් මහන්න්සියෙන් වගේ.

උදේ කෑමෙන් පසු අපි කලින්ම (සීතලේ) පිටත්වුනා. පළමු නැවතුමවූ කුල්ගාඩි නගරයට ලඟාවෙනකොට තවම සීතලේ අඩුවක් නෑ. පරණ රත්‍රන් පතල් නගරයක්වූ කුල්ගාඩි වල හරිම ලස්සන පරණ ගොඩනැගිලි ගොඩක් තියෙනවා. අපි බස් එකෙන් බැහැලා ගිහින් වෙවුල වෙවුල පිංතූර ගත්තා.  




අපෙ අන්තිම දවස වැඩි හරියක් බස් එකේ. නැවැත්තුවේ කීප සැරයයි නමුත් ජනෙලෙන් වෙනස්වෙන රට තොට දැක්කා. දැන් පාර බටහිර ඔස්ට්‍රේලියාවේ 'තිරිඟු තීරය' (Wheat Belt) හරහා දිවුනේ. තිරිඟු සහ බැටළුවන්ට ප්‍රසිද්ධ මේ පලාත්වලින් බටහිර ඔස්ට්‍රේලියාවේ තිරිඟු වලින් ලොකු ප්‍රතිශතයක් නිපදවෙනවා.




මෙරිඩින් නැමති නගරයෙන් හරස් පාරකට හැරී අපි කෙටි දුරක් ගියේ චිත්‍ර වලින් අලංකාර කරනලද ධාන්‍ය ගබඩා දැක ගන්නයි.


තිරිඟු තීරය හරහා දිගටම ගිය අපි දවල් කෑමට කන්ඩඩින් (Cunderdin) නැමති කුඩා 'නගරයේ' නැවැත්තුවා. ඒ නගරේ තියෙන එටමෝගා (Ettamogah) නැමති පබ් එක අමුතු හැඩයක්. නමුත් අපි දෙන්නා ඒකේ පිංතූර ගත්තෙ නැත්තේ ඒ නමින් ඇති මුල්ම පබ් එක බ්‍රිස්බන් වලට ටිකක් උතුරෙන් ඇතැයි කියමින් ('මේක කොපියක් විතරයි'). නමුත් අන්තර්ජාලයේ එනමින් අඩුම ගණනේ පබ් දෙකක් පෙන්වනවා නිව් සවුත් වේල්ස් වල (අප සමග ගමනේ ඉන්න කෙනෙකුත් මේක අපිට කිව්වා)

මින් පස්සේ ආයෙ පබ් නෑ, වික්‍රම නෑ, නැවතීම් නෑ - කෙලින්ම පර්ත්.

ගමන අවසානේ (යම්කිසි) කනගාටුවක් දැනුනත් අපි සමුගත්තේ ප්‍රීතිමත් මගියෝ කට්ටියකින්. අපේ ගමන් සගයෝ එකොලහ හොඳ අය - ඕන උදව්වක් දෙන්න ලෑස්තියෙන් ඉන්න පළපුරුදු ගමන් යන්නෝ. අපි ඔවුන්ට සුභ පතනවා. ඒ වගේම අපි ප්‍රවේසමෙන් පර්ත් නගරයට ප්‍රවාහනය කළ ජෙසා සහ බාබ්ට විශේෂ ස්තුතියක්.

මුළු ගමනෙන්ම වඩාම සුභදායක දර්ශනයක් අපි දුටුවේ ඒ වෙලාවේ නැගෙනහිර පර්ත් දුම්රියපොලේ - චාමරයි නිරෝෂිනියි අපිව ගෙදර එක්ක යන්න ඇවිත්!

Sunday, 26 June 2022

දවස 13 - ලේවර්ටන් - කැල්ගූලි [කි. මී. 350]

අපි රැ ගෙවපු 'ඩොඟා' නවාතැන ඊයේ එකට වඩා හොඳයි - පබ් එක නියමයි!

ඊයෙ රෑ අමතක වෙන්නෙ නෑ (විශේෂයෙන්ම වෝබටන් වලට පස්සේ). පබ් එකේ බීම වීදුරු කීපයක්, හොඳ රෑ කෑමක් වගේම මාර රග්බි ලීග් තරඟයක්. වැඩිය සෙනග නොහිටියට ක්වීන්ස්ලන්ත පැත්තට සහය දක්වන අපෙ බස් එකේ ආපු කන්ඩායමයි, නිව් සවුත් වේල්ස් වලට සහය දක්වන කට්ටියකුයි ඇරුනුකොට හිටියෙ තව දෙතුන් දෙනෙක් විතරයි. සෙනඟ අඩු වුනත් සද්දෙන් නම් අඩුවක් තිබුනෙ නෑ.



රග්බි තරඟෙන් අපි අන්ත පරාජයකට පත්වුනා!


උදේ බස් එක ලඟ තේ බොන වෙලාවේ තවම හරි සීතලයි. නමුත් ඉර නැගගෙන එනවා ලස්සනයි - එතන කොළ නැති ගහක් අවුවට රෝස පාටෙන් බැබලෙනවා වගේ. 



උදේම (උදේ කෑමටත් ඉස්සර) අපි ලේවටන් නගරේ ටිකක් එහාට මෙහාට ඇවිද්දා - ලස්සන සන්සුන් ටවුම (පුදුමයක් නෙවෙයි - කවුරුත් තව නැගිටලා නෑ). දොස්තර චාල්ස් ලේවර් කියන මිනිහගෙ ප්‍රතිමාවකුත් දැක්කා (නගරේ නම ආවේ ඒ දොස්තරගෙ නමෙන්)

ලේවටන් වල ඉඳන් අපි කැල්ගූලි යන ගමන් ඉස්සරවෙලාම නැවතුනෙ ලියනෝරා වල (Leonora). ලියනෝරා වලට ටිකක් දකුණෙන් තමා 'ග්වාලියා පුතුන්' (Sons of Gwalia) රන් ආකරය තියෙන්නේ. ආකරයටත් වඩා අපෙ හිත ඇදිලා ගියේ 'ග්වාලියා පුරාණ නගරයටයි' (Gwalia Ghost Town). රන් ආකරයේ පතල් කරුවන් ජීවත්වූ පරණ නගරය හොඳින් සංරක්ෂණය කරලා පවත්වාගෙන යනවා දැනටත්. ඓතිහාසිකව වැදගත් රන් ආකරයක් නිසා පුරාණ නගරයට ටිකක් ඉහලින් හොඳ කෞතුකාගාරකුත් තියෙනවා.

අපි පුරාණ නගරයේ බස් එක නවත්තලා එතෙන්දිම කෝපි එකක් බීලයි ඇවිදින්න පටන් ගත්තේ. නගරය විස්තර කරනවා වෙනුවට මම පිංතූර කීපයක් පෙන්වන්නම්.


පුරාණ නගර සැලැස්ම - පාරවල් සහ ගොඩනැගිලි


'පෙට්‍රෝනිස්' නැමති පතල් සේවකයෝ නැවතුන නිවහන (Petronis Guest Home) - තනිකඩයන්ගෙ කාමර පැත්තකින් පෙනෙන්න තියෙනවා.



ගරාජයක ඉතිරි වී ඇති කොටස; පතල් කරු නිවසක් (වාහනත් සමග)


'ස්ටේට් හවුස්' නැමති පබ් එක  (State Hotel)

පුරාණ නගරෙන් අපි කෞතුකාගාරයත් පතල් ගොඩනැගිලිත් බලන්න ගියා. 19 වෙනි සියවසේ පටන්ගත් මේ පතලේ ඉතිහාසය හොඳින් ලියවී තියෙනවා. කාලෙන් කාලෙට වෙනස්වූ තාක්ෂණ පෙනෙන්න තියෙනවා.


එක් කාලයක් පතල් කළමනාකරු (පසුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති) හර්බට් හූවර්ගේ ගෙදරත් හොඳින් සංරක්ෂණය කර තියෙන බව පෙනෙනවා.


පතලත් එතනින්ම දැකගන්න පුළුවන්.


දවල් කෑමෙන් පසු අපි කැල්ගූලි බලා පිටත්වුනා. 

මගදී 'ටූ අප්' නැමති සෙල්ලම කරන තැනකත් ටිකකට නැවතුනා. [ටූ අප් - two-up] ඔස්ට්රේලියාවේ පාරම්පරික සූදුවක් - විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්දේ යුධ හමුදා වල. ලීයක් උඩ තැබූ කාසි දෙක උඩ විසිකරලා බිමට වැටෙන කාසි ඔලු දෙකක්/ වලිග දෙකක් (two heads / two tails) පෙනෙයි කියලා මිනිස්සු ඔට්ටු අල්ලනවා. මාර මෝඩ ක්‍රීඩාවක්! මං හිතන්නේ දැන් මේ  ක්‍රීඩාව නීතියෙන් තහනම් (වැදගත්ම හමුදා නිවාඩු දවස - ANZAC Day - හැර)


කැල්ගූලි - බෝල්ඩර් නගර ජෝඩුවේ (Kalgoorlie - Boulder twin towns) අපි පළමුවෙන්ම බලන්න ගියේ මේ පලාතට වතුර ගෙනා විශාල ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය (Goldfields Water Supply Scheme) නිසාමයි මේ පලාත්වල විශාල රත්‍රන් ආකර මෙන්ම ගොවිතැනුත් කරගන්න හැකිවුනේ. 1903 පටන්ගත් මේ ව්‍යාපෘතියෙන්  කි.මී 556ක් දිග ජල නළ වලින් පර්ත් සිට කැල්ගූලි වලට දැනටත් වතුර පොම්ප කරනවා. දූර දක්නා නුවණැත්තෙකුගෙ අදහසක්!



ජල සම්පාදනයට පස්සේ අපි ගියෙ කැල්ගූලිවල ලොකුම ආකර්ණෂය වෙතයි - 'සුපිරි පතල' (Super Pit). මේ පතල කි. මී. 3.7ක් දිගයි, කි. මී. 1.5 පළලයි, මී. 480ක් ගැඹුරුයි (ඌලුරූ වළලන්න ඇති). ඇත්තටම විස්වජනකයි.




පිංතූරේ පතුලට කිට්ටුව දකුණට බැලුවොත් හාරන මැසින් ඉතා කුඩාවට පේනවා - මේ පතල ඒ තරම් විශාලයි.

මේවා බලාගෙන අපි අපේ කැල්ගූලි නවාතැනට ආවා - මෙ ගමනේ අන්තිම රැය ගෙවන්න.
තවම ඉර බැහැලා නැති නිසා කැල්ගූලි නගරේ ටිකක් ඇවිදින්න අපි දෙන්නා තීරණය කරගත්තා. 

ඊට පස්සේ ... බීර වීදුරුවක්... රෑ කෑම... නින්ද!

Saturday, 25 June 2022

 

දවස 12 - වෝබටන් - ලේවටන් [කි. මී. 560]

ඊයෙ රෑ නවාතැන වෙනදා තරම් 'සුඛෝපභෝගී නෑ. අපෙ නිවාසේ හරියට පතලක වැඩකරන අයගෙ වාඩියක තියෙන කුඩා එකට ඈඳූ ගෙවල් වලින් එකක්. මෙහෙ ඒවට සාමාන්යෙන් කියන්නේ 'ඩොඟා' (donga) කියලා. නමුත් ඒකේ ඇඳේ වත් උනු වතුරේවත් කිසි අඩුපාඩුවක් තිබුනෙ නෑ.

අපේ 'වාඩිය' වටා වැටක් ගසා තිබුනා - එයින් එලියට යෑමට අපිට අවසර තිබුනෙ නෑ. ඒ නිසා අපේ රෑ කෑම පිලියෙල වුනෙ බස් එක ලඟ, ජෙසා සහ බාබ් අතින්. ගින්නෙන් පිසගත් කුකුල්මස් 'කෙබාබ්' වල වැරැද්දක් කියන්න බෑ. මෙ කෑම ලෑස්තියේ හැකියාව මේ වගේ ගමනකට ඉතා වැදගත්.


අපේ නිවහනේ නිදන්න නීති කිහිපයක්ම තිබුනා. මත් පැන් / දුම් නොබීම, කූඹින් ගෙන් පරෙස්සම් වීම, කුණු කසල සහ කෑම විසිකිරීම ගැන සැලකිලිමත්වීම, සර්පයන්... එ වගෙ දේ. අවට පොලව සරු පාටක් තිබුනට වර්ෂාව නැති නිසා ගස් වැල් වැවෙන්නේ අමාරුවෙන්. අපේ වාඩියේ පස මේ වගේ.


මේ 'අමුතු ලස්සනක්' ඇති පලාත අයිති ජිකයිරියා (Tjkayiria) ආදිවාසී ජන කොටසටයි. ඔවුන් ජීවත් වෙන්නේ  මේ අවටයි. අපේ දවසේ පළමු නැවතුමවූ ජිකයිරියා නැවතුම්පොලයි (Tjkayiria Roadhouse), අහසින් එන වෙද සේවයයි (Royal Flying Doctor Service) දෙකම ජිකයිරිය ජනයාට සේවය කරනවා. හදිසි අවස්ථා වල පාවිච්චියට ගුවන් ධාවනපථයකුත් (emergency landing strip) මෙහෙ තියෙනවා.



කෝපි කෝප්පෙකින් පස්සේ අපි නැවතත් ගමනේ යෙදුනා. තාර නැති මේ පාරේ අවට දිගටම පෙනුනෙ කාන්තාර ගතියක්. තැනින් තැන ගස්  පඳුරු පෙනෙන්න තිබුනා නමුත් පොලව ඉතාම වියලියි.



'මැලී' නැමති ගස් වර්ගය බොහෝ තැන්වල දකින්න ලැබුනා. එක මුල් එකතුවකින් කඳන් කීපයක් පැලවීම මේ ගස් වල ලක්ෂණයක්. මේ ගැන අපිට කියා දුන්නේ අපිත් එක්ක ගමන් කරන්නෙක් (මේ පලාත් සහ ගොවිතැන් ගැන හොඳින් දන්න විශ්‍රාමික ගොවියෙක්)


පාරෙන් පිටතට ගිහින් දවල් කෑමට අපි නැවැත්තුවේ මේ මැලී ගස් ගොල්ලක.


අපෙ බස් එකේ දවල් කෑමක් ලෑස්තියට අවශ්‍ය සියල්ල තියෙනවා - සලාමි, හැම්, පාන් වගේ දේ වගේම උණු උණු තේ/කෝපිත් පිලියෙල කිරීමට ජෙසා සහ බාබ් දක්ෂයි. අපිත් උදවු වෙනවා කෑම ලෑස්තියටත් අවසාන පිරිසිදු කිරීම් වලටත්. (එක කඩදාසි කැබැල්ලක්වත් බිම් දමා යන්නෙ නෑ) 

දවල් කෑමෙන් පස්සේ අපි ලේවටන් බලා පිටත්වුනා.

ලේවටන් වල නවාතැන ලඟම පබ් එකක් තියෙනවා. ඒ ඇරුනහම අද රෑ ඔස්ට්‍රේලියාවේ ලොකුම රග්බි ලීග් තරඟය, ක්වීන්ස්ලන්තයත් නිව් සෞත් වේල්සුත් අතර. අපිට පබ් එකේ ඉඳන් ඒක බලන්නත් පුළුවන්! අපෙ ක්වීන්ස්ලන්ත කන්ඩායමට ජයවේවා!

 

දවස 11 - යුලාරා - වෝබටන් [කි. මී. 560)]

අපි යුලාරා වලින් පිටත් වුනේ අහස අමුතු පාටක් පෙන්වපු හිමිදිරියේ.

අද ගමන වැඩි හරියක් බස් එකේ - ජනෙලෙන් තමා ලෝකේ බලන්න වෙන්නේ. වියළි කාන්තාරේ ගහ කොළ තමා දකින්න තියෙන්නේ [එහෙම කිව්වට අපි කීප සැරයක් නැවැත්තුවා - යන ගමන් අන්තිම වරටත් ඌලුරූ දිහාත් බලාගෙන ගියා]



'ලැසටර්ගෙ ගුහාව' [Lasseter's Cave] තමා අපේ පළමු නැවතීම. හැරල්ඩ් ලැසටර් 1920 ගණන් වල රත්‍රන් සොයා යන්නෙක් (gold prospector). සමහරු කිව්වේ මිනිහා බොරු වංචාකාරයෙක් කියලා. උතුරු රාෂ්ට්‍රයයි බටහිර ඔස්ට්‍රේලියාව අතර මායිමට (NT/WA border] කිට්ටුව විශාල් රත්‍රන් ඉල්ලමක් හමුවූ බව කියමින් ඔහු ව්‍යාපාරික මුදල් යොදන්නොත් සමග ඉල්ලමට මග පෙන්වන්න ගියා. අනික් අයත් සමග රන්ඩුවී තනිවුන ඔහු මාසයක් පමණ මේ ගුහාවේ ජීවත්වුනා. අන්තිමට ඔහු කාන්තාරෙම මිය ගියා. ඒ රත්‍රන් කිසි කෙනෙකුත් තවමත් සොයාගන්න බැරිවෙලා තියෙනවා.




මට මෙතන වඩාම ආකර්ෂණීය ලෙස පෙනුනේ පළල් ගඟත් (වතුර නැති) එහි වැවුන විශාල ගසුත්. 


... එක ගහක් යට මාග් ඉන්නවා දැක්කා...


බටහිර ඔස්ට්‍රේලියා මායිමට එනතුරුත් වියළි කාන්තාර ගහකොළ පමණයි.


බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙන තැන.


අපි හිතුවේ පාරේ අනික් පැත්තේ තිබුන නාම පුවරුව වඩා ලස්සනයි කියලා!


පහත පුවරුවේ පෙන්වූ අපිට අගදී හමුවන 'නගර' වලින් වරකුර්නා ගිමන්හල (Warakurna Roadhouse) අපේ පළමු නවතන තැනයි (දවල් කෑම). ඉන් පසු වෝබටන් ගිමන්හල (Warburton Roadhouse) අද රෑට, ලේවටන් (Laverton) හෙට රෑට, සහ කැල්ගූලි (Kalgoorlie) අනිද්දා රෑට. ඊට පස්සේ කෙලින්ම ගමන අවසාන පර්ත් නගරයට!


වරකුර්නා ගිමන්හල කුඩා එකක් - ආදිවාසීන්ට කිට්ටු තැනක්.



වෝබටන් යන්න ඉස්සර අපි මගදී තවත් තැනක නැවැත්තුවා (වැසිකිලි නැවතුමක් - එතන වැසිකිලි නොතිබුනාට). ඉන් පස්සේ වෝබටන්.


වෝබටන් වල නවතින්නේ දැල් වැටකින් ආවරනයවූ ආරක්ෂිත මලුවකයි. කොහේ වුනත්  අපෙ හිතේ තිබුනේ කෑමත්, නෑමත් නින්දත් පමණයි.